Pages

Sunday, March 30, 2014

අරුම පුදුම ජල පැන්නුම - ජර්මනිය





සාමාන්‍යයෙන් අපි නිතරම අහන දකින පාලම් හදලා තියෙන්නේ වතුරට බහින්නේ නැතුව වතුර පාරකින් එගොඩ වෙන්න. නමුත් මේ කියන්න යන පාලම එවැනි සාමාන්‍ය පාලමක් නෙවෙයි. මේ පාලමේ විශේෂත්වයක් තියෙනවා. මේ පාලම යටින් වතුර ගලා බහිනවා වගේම මේ පාලම මතත් වතුර ගලා බහිනවා.



 ජර්මනියේ පිහිටා තිබෙන මේ පුදුමාකාර පාලම හඳුන්වන්නේ මැග්ඩබර්ග් ජල පැන්නුම නමින්. ජර්මනියේ එල්බෙ-හැවල් ඇළ මාර්ගය හා මිටෙලන්ඩ් ඇළ මාර්ගය මෙම ජල පැන්නුම මගින් සම්බන්ධ කෙරෙනවා. මෙමගින් බෝට්ටු හා නැව් වලට එල්බෙ ගඟ තරණය කිරීමට පහසුකම් සලසා දෙනවා. මීටර් 918ක් දිග මෙය ලෝකයේ දිගම නාව්‍ය ඇළ මාර්ගය ලෙසට සැළකෙනවා.






මැග්ඩබර්ග් ජල පැන්නුම නිර්මාණය කිරීමට පෙරාතුව එල්බෙ-හැවල් ඇළ මාර්ගය හා මිටෙලන්ඩ් ඇළ මාර්ගය මැගඩබර්ග් ආසන්න ස්ථානයකදීම එල්බෙ ගඟට එකතු උනත් ඇළ මාර්ග දෙක ගඟට එකතු වන්නේ ගඟේ දෙපසිනුයි. එම නිසා මෙම ඇළ මාර්ග දෙක හරහාම ගමන් කරනා නාවුක යාත්‍රා වලට එක් ඇළ මාර්ගයකින් පැමිණ එල්බෙ ගඟට වැටී අනෙක් ඇළ මාර්ගයට ඇතුල් වීම සඳහා කිලෝමීටර් 12ක දුරක් යාත්‍රා කලයුතු උනා. ඒ වගේම එල්බෙ ගඟේ පුළුල් ස්වාභාවය නිසා ජලය අඩු කාලයට මෙම ඇළ මාර්ග දිගේ නාවුක යාත්‍රා පැමිණුනත් ඒවාට එල්බෙ ගඟ හරහා යාත්‍රා කළ නොහැකි උනා. මැග්ඩබර්ග් ජල පැන්නුම නිර්මාණය කර ඇත්තේ මේ හේතු නිසාවෙනුයි.



මැග්ඩබර්ග් ජල පැන්නුමේ නිර්මාණ කටයුතු 1930 වර්ශයේදී ඇරඹුනත් දෙවන ලෝක යුද්ධය නිසා නවතා දැමුණු ඉදිකිරීම් කටයුතු විවිධාකාර හේතු නිසා අත්හැර දමා තිබී නැවත අරඹන්නේ 1997 වර්ශයේදීයි. සම්පූර්ණයෙන් නිමා කෙරුනු මැග්ඩබර්ග් ජල පැන්නුම 2003 වර්ශයේදී විවෘත කෙරුනා.







Read More

Friday, March 14, 2014

ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන ක්‍රම 6ක් (නොමිලේ)

ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න බිට්ටොරන්ට්, Uටොරන්ට් වගේ සොෆ්ට්වෙයාර්ස් ගොඩක් තිබුනත් ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න උවමනා අයත් ගොඩක් ඉන්න පුලුවන්. මේ ලිපිය ඒ අය වෙනුවෙන්.

ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන එකේ වාසි කිහිපයක් තියෙනවා. අප්ලෝඩ් කිරීමක් කරන්න උවමනා නැති කම, ස්පීඩ් එක වැඩි වීම මේ වාසි විදිහට හඳුන්වන්න පුලුවන්. ඒ වගේම ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන එක බ්ලොක් කරලා තියෙන අන්තර්ජාල සම්බන්ඳතා හරහාත් මේ විදිහට ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙබ් අඩවි ගොඩක් හොයාගන්න පුලුවන් උනත් බහුතරයක් වෙබ් අඩවි වල මේ සේවාව ලබාගන්න ඕනේ මුදල් ගෙවලා. අද මේ ලිපියෙන් කතා කරන්නේ නොමිලේම ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙබ් අඩවි ගැනයි.


1.) Lajusangat.net

               
මේ වෙබ් අඩවියේ Free Account එකක් හදාගන්න උවමනා වෙන්නේ ඊමේල් ඇඩ්‍රස් එකක් විතරයි.

වෙබ් අඩවියේ විශේෂතා

  • එක් ෆයිලයක උපරිම විශාලත්වය = සීමාවක් නැත
  • උපරිම වේග සීමාව = සීමාවක් නැත
  • ෆයිලය වෙබ් අඩවියේ තබාගන්නා කාලය = දින 1 (අවසාන බාගත කිරීමෙන් පසු)
  • එකවර ක්‍රියාත්මක කලහැකි ටොරන්ට් ෆයිල්ස් ගණන = 1



2.) Alldebrid.com

මේ වෙබ් අඩවියේ Free accounts වලින් ටොරන්ට්ස් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒත් ඉතින් බයවෙන්න දෙයක් නෑ. අපි කොහොමහරි අපේ වැඩේ කරගන්නවා. මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. මේ වෙබ් අඩවියේ offer එකක් තියෙනවා free accounts තියෙන අයට දවස් දෙකක් premium account වලින් දෙන විදිහට ඩවුන්ලෝඩ් කරන්න දෙන. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ. හැබැයි එක free account එකකට මේ දවස් දෙක පාවිච්චි කරාට පස්සේ නැවතත් ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න බැරුව යනවා. ආයෙත් කරගන්න ඕනෙනම් අලුත් account එකක් හදන එක තමයි තියෙන්නේ.

මුලින්ම මේ වෙබ් අඩවියේ free account එකක් හදාගන්න.

ඊට පස්සේ free account එක හදාගන්න පාවිච්චි කරපු ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් එනවා account එක activate කරන link එක දන්වලා. මේ එන මේල් එකේම තව ලින්ක් එකක් තියෙනවා request free days කියලා.

මුලින්ම activate link එක ක්ලික් කරලා account එක activate කරගන්න.

ඊට පස්සේ අනිත් ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඕපන් වෙන වෙබ් පිටුවේ අදාල ස්ථානයේ ජංගම දුරකතන අංකය ඇතුළත් කරලා next කරන්න. (අලුත් වෙබ් පිටුවක් ඕපන් වේවි.)

ඊට පස්සේ දුරකතනයට කෙටි පණිවිඩයක් එනවා code එකක් තියෙන. මේ code එක අලුතෙන් ඕපන් වූ වෙබ් පිටුවේ අදාළ ස්ථානයට ඇතුලත් කරන්න.

මෙච්චරයි කරන්න තියෙන්නේ. දැන් දවස් දෙකක් මේ වෙබ් අඩවිය premium user කෙනෙක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්.

ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන ක්‍රමය


රතු පාටින් රවුම් කරලා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.



මෙතනදි මැග්නට් ලින්ක් එක දෙන්න. නැත්නම් ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරන්න.


මේ විදිහට දීපු ෆයිල්ස් ඒ වෙබ් පිටුවේම යටින් මේ විදිහට පෙන්නනවා. Display links කියන තැන ක්ලික් කරන්න.


එතකොට එතනම යටින් මේ විදිහට ලින්ක් එක පෙන්නනවා. ඒ ලින්ක් එක රයිට් ක්ලික් කරලා කොපි කරගන්න.


ඊට පස්සේ Downloader කියන ලින්ක් එක ක්ලික් කරන්න.


අලුත් වෙබ් පිටුවේ කලින් කොපි කරගත්ත ලින්ක් එක කොපි කරන්න ඉහත රූපයේ රතු කවයෙන් පෙන්නලා තියෙන තැන. ඊට පස්සේ පහළින් තියෙන කොළ පාට ලින්ක් එක ක්ලික් කරන්න.

එතකොට එතනම යටින් ඩිරෙක්ට් ලින්ක් එක පෙන්නනවා. ඒක ක්ලික් කරලා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.


ඩවුන්ලෝඩ් කරන එකට තහංචි දාලා තියෙන තැනක නම් (උදා:- Office, University, School )


මෙතන ක්ලික් කරන්න.


ඕපන් වෙන වෙබ් පිටුවේ මේ පෙන්නලා තියෙන විදිහට settings හදලා confirm the changes ක්ලික් කරන්න.


වෙබ් අඩවියේ විශේෂතා

  • එක් ෆයිලයක උපරිම විශාලත්වය = සීමාවක් නැත
  • උපරිම වේග සීමාව = සීමාවක් නැත
  • ෆයිලය වෙබ් අඩවියේ තබාගන්නා කාලය = සීමාවක් නැත (අපි කරන විදිහටනම් දින 2)
  • එකවර ක්‍රියාත්මක කලහැකි ටොරන්ට් ෆයිල්ස් ගණන = සීමාවක් නැත



3.) Btcloud.io

මේ වෙබ් අඩවියේ accounts හදන්න උවමනා නැහැ. ඊමේල් එකෙන් ලොග් වෙලා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

වෙබ් අඩවියේ විශේෂතා

  • එක් ෆයිලයක උපරිම විශාලත්වය = 1GB
  • උපරිම වේග සීමාව = සීමාවක් නැත
  • ෆයිලය වෙබ් අඩවියේ තබාගන්නා කාලය = සීමාවක් නැත
  • එකවර ක්‍රියාත්මක කලහැකි ටොරන්ට් ෆයිල්ස් ගණන = 5


4.) Filestream.me

මේ වෙබ් අඩවියේ Free Account එකක් හදාගන්න උවමනා වෙන්නේ ඊමේල් ඇඩ්‍රස් එකක් විතරයි.

වෙබ් අඩවියේ විශේෂතා

  • එක් ෆයිලයක උපරිම විශාලත්වය = 1GB
  • උපරිම වේග සීමාව = සීමාවක් නැත
  • ෆයිලය වෙබ් අඩවියේ තබාගන්නා කාලය = දින 3
  • එකවර ක්‍රියාත්මක කලහැකි ටොරන්ට් ෆයිල්ස් ගණන = 2


5.) Furk.net

Gmail, Yahoomail, Facebook accounts වලින් ලොග් වෙන්න පුලුවන්.

වෙබ් අඩවියේ විශේෂතා

  • එක් ෆයිලයක උපරිම විශාලත්වය = 2GB
  • උපරිම වේග සීමාව = සීමාවක් නැත
  • ෆයිලය වෙබ් අඩවියේ තබාගන්නා කාලය = සීමාවක් නැත
  • එකවර ක්‍රියාත්මක කලහැකි ටොරන්ට් ෆයිල්ස් ගණන = සීමාවක් නැත
මෙම වෙබ් අඩවියෙන් එක් දිනකදී ඩවුන්ලෝඩ් කල හැක්කේ 1GB ප්‍රමාණයක ෆයිල්ස් පමණි.



6.) Boxopus.com

Facebook account එකෙනුත් ලොග් වෙන්න පුලුවන්.

වෙබ් අඩවියේ විශේෂතා

  • එක් ෆයිලයක උපරිම විශාලත්වය = 1GB
  • උපරිම වේග සීමාව = සීමාවක් නැත
  • ෆයිලය වෙබ් අඩවියේ තබාගන්නා කාලය = දින 1
  • එකවර ක්‍රියාත්මක කලහැකි ටොරන්ට් ෆයිල්ස් ගණන = 1


මේ ක්‍රම 6ම නොමිලේම ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගැනීමට භාවිතා කරන්න පුලුවන්.



Read More

Wednesday, March 12, 2014

ඉන්කා මමියක මරණයේ තතු හෙලිවේ



මෙම මමියේ අතීතය පිළිබඳ හරිහැටි විස්තරයක් සඳහන් නොවෙතත් 1890දී බැවේරියානු කුමාරිකාවක වන තෙරේසා කුමරිය විසින් මමිය අත්පත් කරගත් බව සඳහන් වෙනවා. ඉන්පසුව වසර 100කට අධික කාලයක් මෙම මමිය තිබී ඇත්තේ ජර්මනියේ බැවේරියානු ප්‍රාන්ත පුරාවිද්‍යා භාණ්ඩ එකතුවේයි.

වසර 1600ක් පමණ පැරණි ලෙසට සැළකෙන මෙම මමිය සොයාගෙන තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරයෙන්. මෙය වයස විසි ගණනක් වූ ඉන්කා කාන්තාවකගේ මමියක් ලෙසට සැළකෙනවා.





ඇයගේ හිසකේ බැඳි පටි නිපදවා ඇත්තේ බැටළු හෝ ලාමා සත්වයෙකුගේ සම් වලින් බව සොයාගෙන තිබෙනවා. මෙම කරුණත් ඇයගේ හිසේ හැඩයත් පදනම් කරගෙනයි විද්‍යාඥයන් ඇය දකුණු ඇමෙරිකානු සම්භවයක් ඇත්තියක බව නිගමනය කර තිබෙන්නේ.




ඇය චාගාස් ආසාදනය නම් ආසාදනයකින් පෙලුනු බවටත් හඳුනාගෙන තිබෙනවා. නමුත් ඇයගේ මරණය සිදුවී ඇත්තේ මෙම ආසාදනය නිසා නම් නොවෙයි. මෙම ආසාදන තත්වය ඇයව මරණය අභියසටම ගෙනැවිත් තිබුනත් ඇය මියගොස් ඇත්තේ බිලිපූජාවකදී බිල්ලට දීමෙන් බව නවතම වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

ඇයගේ සම්භවය හා මරණය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මියුනිච් විශ්වවිද්‍යාලයේ පුරාණව්‍යාධිවේදියෙකු වන ඇන්ඩ්‍රියාස් නර්ලිච් ඇටසැකිල්ල, ශරීර අවයව සහ පුරාණ DNA පරීක්ෂාවට ලක්කොට තිබෙනවා.

මමියේ බාහිර පෙනුමෙන් ඇය අවසන් මොහොතේදී අධික කම්පනයකට ලක්වූ බවට සාක්ෂි දක්නට නැතත් හිස්කබලේ නළල් ප්‍රදේශය බිඳී ගොස් ඇති බවට CT ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයාගෙන තිබෙනවා.

පරීක්ෂණ කටයුතු පිළිබඳව "Plos One" නම් සඟරාවට ලිපියක් ලියමින් අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම පවසා සිටින්නේ ඇයගේ හිසට තියුණු ආයුධයකින් එල්ල වූ පහරවල් කිහිපයක් නිසාවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි. ඇය මරා දැමීමෙන් අනතුරුව ඇයව ඇටකාමා කාන්තාරයේ වළදමා ඇති අතර කාන්තාරයේ වැලි සහ සුළඟ හේතුකොටගෙන ඇය ස්වාභාවිකව මමිකරණය වී ඇත. මමියේ හිසකෙස් වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව මියයන විට ඇයගේ වයස නිර්ණය කර ඇති අතර ඇය ජීවත් වූ කාලයේදී මුහුදු ආහාර සහ ඉරිඟු වැඩි වශයෙන් ආහාරයට ගන්නට ඇති බවටත් නිගමණය කර තිබෙනවා.



Read More

Tuesday, March 11, 2014

පිඹුරෙක් කිඹුලෙකුව ගිලී!!





පැය පහක් තිස්සේ සිදුකල සටනකින් පසුව පිඹුරෙකු විසින් කිඹුලෙකුව සම්පූර්ණයෙන්ම ගිල දැමූ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඊසා කඳුකරය ආසන්නයේ පිහිටා ඇති මුන්ඩාරා විල් ඉවුරේදීයි. සිදුවීම සජීවිව සියැසින් දැකගැනීමට අසල්වාසීන් සමත්ව ඇති අතර මෙහි වීඩියෝවක්ද යූටියුබ් හරහා ප්‍රචලිත උනා.

"කිඹුලාව ගිල දැමීමෙන් අනතුරුව පිඹුරාගේ කුස තුල කිඹුලාගේ හැඩය පැහැදිලිවම දකින්නට තිබුනා. ඒක තමයි අපූරුම දෙය. කිඹුලාගේ පාද සහ ඇඟේ හැඩය මෙන්ම විශාලත්වයද පැහැදිලිවම පෙනුනා. එය හරිම පුදුමාකාරයි." ගම්වැසියෙකු වන ටිෆනි කෝර්ලිස් ඕස්ට්‍රේලියානු ABC ප්‍රවෘත්ති විකාශයට පවසා තිබෙනවා.

පිඹුරන් විසින් කිඹුලන්ව ගිල දැමීම එතරම්ම දුර්ලභ සිදුවීමක් නොවන බව කියා සිටින ලින්ඩ්සේ හෝර්ඩ් මෙවන් සිදුවීම් දකුණු ඇමෙරිකාවේද වරින්වර සිදුවන බව පෙන්වා දෙනවා. ඇය ජෛවවිද්‍යාඥවරියක්.

මේ පිඹුරා ඕස්ට්‍රේලියාවට ආවේනික පිඹුරු විශේෂයක් වන ඔලිව් පිඹුරෙකු ලෙසට හඳුනා ගෙන තිබෙනවා. දකුණු ඩැකෝටා උරග සත්වෝද්‍යානයේ, ටෙරී ෆිලිප් පවසා සිටින ආකාරයට ඔලිව් පිඹුරන් විශාල ගොදුරු ගිල දැමීමට උපන් හපන්නු වන අතර ඔවුන්ට විශාල ශක්තියක්ද ඇත. ඔහු තවදුරටත් සඳහන් කරන ආකාරයට මෙම පිඹුරන් තමන්ගේ ශරීර ප්‍රමාණය මෙන් 75%- 100% අතර ප්‍රමාණවල ගොදුරු නිතරම ගිල දමනවා.

යූටියුබ් වීඩියෝව පහතින් නරඹන්නට පුලුවන්.






Read More

Sunday, March 9, 2014

යුරෝපයේ විසූ විශාලතම මාංශ භක්ෂක ඩයිනෝසරයා

ජීවත් වූ කාලයේ ආහාර දාමයේ ඉහලම පුරුක මොවුන් වන්නට ඇත


පෘතුගාල විද්‍යාඥයන් පිරිසක් පසුගියදා අති විශාල මාංශ භක්ෂක ඩයිනසෝරයෙකුගේ ෆොසිල සොයාගැනීමට සමත්ව තිබෙනවා. මේ දක්වා සොයාගෙන ඇති සත්වයන් අතරින් යුරෝපයේ විසූ විශාලතම මාංශ භක්ෂක සත්වයා ලෙසට මෙම ඩයිනෝසරයා අභිශේක ලබන බවට එම විද්‍යාඥයන් පිරිස පවසා සිටිනවා. මෙම ඩයිනසෝරයාගේ අස්ථි ෆොසිල සොයාගෙන තිබෙන්නේ ලිස්බන් නගරයට උතුරු දෙසින් ඇති 'ප්‍රේයා ඩා වර්මෙලා' නම් ප්‍රදේශයේ පිහිටි කඳු බෑවුමකිනුයි.

ටෝර්වොසෝරස් ගුවර්නේ ලෙසින් නම් කර ඇති මෙම රුදුරු මාංශ භක්ශිකයාගේ ශරීරයේ දිග මීටර් 10කුත් බර ටොන් 4ක් හෝ 5ක් පමණ වන්නට ඇති බවටත් සැලකෙනවා. මෙම සත්වයාගේ විස්තර ප්‍රකාශයට පත්කර තිබෙන්නේ "Plos One" නම් සඟරාවේ නවතම කලාපයේයි.

මෙම සතුන්ගේ විශාලත්වය පිළිබඳ දල අදහසක් මෙම රූපයෙන් ලබා ගන්නට පුලුවන්


මෙම ඩයිනෝසරයා පාද දෙකක් ඇති මාංශ භක්ෂිකයෙක්. මෙම කරුණ කියවෙන විටම සිහියට නැගෙන්නේ ට්‍රයිනෝසෝරස් රෙක්ස් නම් ඩයිනෝසරයන් වර්ගයයි. නමුත් ටොර්වෝසෝරස් ගුවර්නේ ජීවත් වූයේ ට්‍රයිනෝසෝරස් රෙක්ස්ට වඩා බොහෝ කාලයකට පෙර පශ්චාත් ජුරාසික යුගයේයි. එනම් මීට අවුරුදු මිලියන 150කට පමණ පෙරයි.

"අපි හැමෝම T. රෙක්ස් ගැන දන්නවා. T. රෙක්ස් ක්‍රිටේසීය සත්වයෙක්. මේ අලුතෙන් සොයාගත් ඩයිනෝසරයා ජුරාසික සත්වයෙක්. මොවුන් ජීවත් වූ කාල වකවානු අතර ඇති කාල පරතරය විශාලයි. අඩුම වශයෙන් එය අවුරුදු මිලියන 80ක් වත් වෙනවා. එම නිසා T. රෙක්ස් පෘථිවිය මත සැරිසරන කාලය වන විට ටෝර්වෝසෝරස් ෆොසිල බවටත් පත්ව අවසන්." ලිස්බන් නව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔක්ටේවියෝ මටේයස් පවසනවා.

විද්‍යාඥයන් මේ වනවිට ටෝර්වොසෝරස්ගේ ශරීර කොටස් ගණනාවක් සොයාගෙන ඇති අතර බිත්තර සහ කළලද මීට ඇතුලත්. නමුත් මොවුන්ගේ ඉහළ හකුපාඩා සොයාගැනීමත් සමග තමයි මොවුන්ගේ ශරීර ප්‍රමාණය හා හැඩය පිළිබඳ නිවැරදි තක්සේරුවකට පැමිණීමට විද්‍යාඥයන්ට හැකිව තිබෙන්නේ.

මීට පෙර උතුරු ඇමෙරිකාවෙන් සොයාගත් ටෝර්වොසෝරස් සත්වයාට වඩා මෙම සත්වයා වෙනස්කම් දක්වනවා. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේම මුතුන් මිත්තන් එකම වන්නට ඇති බවටයි සැලකෙන්නේ.

"මීට අවුරුදු මිලියන 150කට පෙර කාලය වනවිටත් පෘතුගාලය ඇමෙරිකාවෙන් වෙන්වී අවසානයි. එම නිසා පරිණාමනයේදී සුලු සුලු වෙනස්කම් ඇතිවූවා විය හැකියි. ටොර්වොසෝරස් වර්ග දෙකක් යුරෝපයෙන් සොයා ගැනීමට හේතුව මෙයයි." සඟරාවේ ප්‍රධාන කර්තෘ ක්‍රිස්ටෝෆ් හෙන්ඩ්‍රික්ස් පවසනවා.

T. ගුවර්නේ සතුන්ගේ වඩාත්ම සිත් ඇදගන්නාසුලු අංගය වන්නේ ඔවුන්ගේ දත්. පිහිතල ආකාරයේ මෙම දත් වලින් සමහරක් සෙන්ටි මීටර් 10කටත් වඩා දිගින් වැඩියි. මෙයින් පෙනී යන්නේ ඔවුන් ජීවත් වූ කාලයේ ආහාර දාමයේ ඉහලම පුරුක ඔවුන් වන්නට ඇති බවයි.



යුරෝපයේ විශාලතම ගොඩබිම් මාංශ භක්ෂක ඩයිනසෝරයා T. ගුවර්නේ ලෙස සැලකුනත් ලෝකයම සලකන කල මොවුන්ට වඩා විශාල සත්වයන් ජීවත් වී තිබෙනවා.





Read More

Friday, March 7, 2014

අතුරුදහන් වූ ගම්මානය

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී පුද්ගලයන් අතුරුදහන් වීම ගැන අපට වරින් වර අසන්නට ලැබෙනවා. නමුත් ගම්මානයක ජීවත් වූ සම්පූර්ණ ජනගහනයම අතුරුදහන් වීමක් ගැන නම් එලෙස නිතර අසන්නට ලැබෙන්නේ නැහැ. මේ කියන සිදුවීම නම් ඒ ආකාරයේ සිදුවීමක්.

කැනඩාවේ නුනවුට් හි කිවලික් ප්‍රදේශයේ ඇන්ගිකුනි නම් විල අසල තිබූ ඉනියුට් ගම්මානයේ (කැනේඩියානු එස්කිමෝවරුන් ජීවත් වන ගම්මාන මෙසේ හැඳින්වේ) ජීවත් වූ සියලුම දෙනා කිසිම සළකුණක්වත් නොතබා සම්පූර්ණයෙන්ම අතුරුදහන් උනා.

කැනේඩියානු එස්කිමෝවරුන්ගේ (ඉනියුට් වරුන්ගේ) සාම්ප්‍රදායික පැල්පත්


1932 නොවැම්බර් මාසයේ දිනයක සැන්දෑයාමයේදී කැනේඩියානු ජාතික සත්ව සම් එකතු කරන්නෙකු වන ජෝ ලැබෙල් නමැත්තා හිම කතරේ තිබූ අධික ශීතලෙන් ගැලවීමට ආවරණයක් සොයා යනවිට ඇන්ගිකුනි හි ඉනියුට් ගම්මානයට පැමිණියා. ජෝ මෙම ස්ථානයට අමුත්තෙකු නොවිනි. මීට කලින්ද වරින් වර මෙහි පැමිණ තිබූ ඔහුට ගම්වැසියන්ගේ ආගන්තුක සත්කාර නුපුරුදු දෙයක් උනේ නැහැ. නමුත් මෙදින ඔහුට මෙම ගම්මානයේ අමුත්තක් දකින්නට ලැබුනා. මුලු ගම්මානයම භයානක නිෂ්ශබ්දතාවයක ගිලී ගොස් තිබුනා. ගම් වැසියන්ගේ සිනා හඬ, කතාබස් කරනා හඬ හෝ අසන්නට ලැබුනේ නැහැ. අඩුම තරමෙන් ඔහුට හුරු පුරුදු ගම්මානයේ විසූ බල්ලන්වත් දකින්නට ලැබුනේ නැහැ. ඔහු හඬ නඟා ගම්වැසියන්ට කතා කලත් ඔහුට කිසිම පිළිතුරක් ලැබුනේ නැහැ. ගම්මානයේ සියලුම පැල්පත්, කූඩාරම් භයානක නිහඬතාවයක ගිලී තිබුනා. පුදුමයට පත්වූ ඔහු ගම්මානය පුරා ඇවිදිමින් කිසිවෙකු සොයමින් සිටිනාවිට ඔහුට දකින්නට ලැබුනේ ඈතින් ගින්නක් ඇවිලෙන ආකාරය. ඉක්මනින්ම ඒ දෙස්ට ගමන් ගත් ඔහුට දකින්නට ලැබුනේ ලිප තබා තිබූ ඉස්ටුවක්. නමුත් ඒ අවටත් කිසිවෙකු සිටියේ නැහැ. ඉන් පසුව ඔහු ගම්මානයේ සෑම තැනක්ම පරීක්ෂා කලා. ගම්වැසියන්ගේ බඩු භාණ්ඩ, ආහාරපාන ආදිය මෙන්ම ආයුධ පවා නියමිත තැන්වල ඒ ආකාරයෙන්ම තිබුනත් එකදු ගම් වැසියෙක්වත් දකින්නට ලැබුනේ නැහැ. අධික ශීතලද නොතකා අපහසුවෙන් ආසන්නතම ටෙලිග්‍රාෆ් කාර්යාලය වෙත ගිය ලැබෙල් ආසන්තම පොලිස් බැරැක්කය වෙතට පණිවිඩයක් යැව්වා.

පැය කීපයකින් අනතුරුව ගම්මානයට ගිය පොලිස් නිළධාරීන්ටද දැක ගැනීමට හැකි වූයේ ගම්වැසියන් රහිත ගම්මානයයි. මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු මෙහෙයවූ පොලීසියට කට උත්තරයක් ලබාදුන් ආර්මන්ඩ් ලොරන්ට් නම් තවත් සත්ව සම් එකතු කරන්නෙකු පවසා සිටියේ මෙම ගම්මානයට ඉහළින් පැමිණි දිලිසෙන පියාඹන පීරිසි වලින් ගම්මානය දෙසට ආලෝක කදම්භ එල්ල වන අයුරු තමන් දුටු බවයි. තවදුරටත් පරීක්ෂණ කටයුතු මෙහෙයවාගෙන ගිය පොලීසියට සොයා ගැනීමට ලැබුනේ ගම්වැසියන්ගේ මුතුන්මිත්තන්ගේ සොහොන් හිස්වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම සොහොන් මතුපිට හා අවට හිම තදින් ගනව පැවතුනා. එමෙන්ම සොහොන් කොත් හරි මැදින් දෙකට පැලී තිබුනු අතර මෙය සතුන්ගේ වැඩක් නොවන බව එයින් ඔප්පු උනා. එමෙන්ම ගම්මානයට සැළකිය යුතු තරම් දුර ස්ථානයක හිමෙහි අඩි 12ක් යට වළලා තිබූ බල්ලන්ගේ මළකුණු 7ක් සොයා ගැනීමටත් පොලීසියට හැකි උනා. එම බල්ලන් සියලුම දෙනා මියගොස් තිබුනේ හාමතින්. එක් වාර්තාවක සඳහන් වූ පරීදි මෙම බල්ලන්ව ගස් වල ගටගසා තිබෙනවා ඔවුන්ට ආහාර සොයාගත නොහැකි වන අයුරෙන්. ඉන්පසු පොලිස් නිළධාරීන්ද තවත් පුදුමයට පත් උනේ ඔවුන්ටත් දිලිසෙන නිල් පැහැති ආලෝක කිරණ ආකාසයේ දැකගත හැකි වූ නිසාවෙන්.



මීට අමතරව වෙනත් කිසිවක් සොයා ගැනීමට පොලීසියට නොහැකි වූ අතර එකම ගම් වැසියෙකුවත් මින් අනතුරුව දකින්නට ලැබුනේ නැහැ.


පුවත්පත් වාර්තාකරුවෙකු වන ෆ්‍රෑන්ක් එඩ්වර්ඩ්ස් විසින් 1966දී රචිත 'Stranger Than Science' නම් ග්‍රන්ථයට මෙම සිදුවීම අන්තර්ගත කිරීම නිසා මෙම සිදුවීම නැවතත් ලොව පුරා කතා බහට ලක්වෙන්නට පටන් ගත් අතර ඔහු මෙම සිදුවීම තම කෘතියේ පළකර ඇත්තේ 'The Danville Bee' නම් පුවත්පතේ සිදුවීම ගැන එකල වාර්තා කර තිබූ ලිපිය ආශ්‍රයෙනුයි.






කෙසේ වෙතත් මෙම සිදුවීම 1966දී නැවතත් කරළියට ඒමත් සමග කැනේඩියානු පොලීසිය පවසා සිටියේ තමන් මෙවැනි සිදුවීමක් පිළිබඳව කිසිදිනෙක පරීක්ෂණ පවත්වා නොමැති බවයි. මේ කියන ප්‍රදේශයේ මේ කියන තරම් විශාල ගම්මානයක් පවා නොතිබූ බවයි ඔවුන් පැවසුවේ. (මෙම කාලයේ ඉනියුට් ජනගහණය පිළිබඳ වාර්තා ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් වන අතර මෙම ප්‍රදේශය සම්බන්ධව වාර්තා ඇත්තේම නැති තරම්. එම නිසා මෙවන් ගම්මානයක් තිබූ බවට ලිඛිත සාක්ෂි සොයාගැනීමට නැහැ.) එමෙන්ම මෙම කතන්දරය සම්පූර්ණයෙන්ම ගොතන ලද්දක් ලෙසටද ප්‍රකාශ කර ඇති ඔවුන් ඒ පිළිබඳව එඩ්වර්ඩ්ස් හට දෝශාරෝපණය කර තිබෙනවා. නමුත් එඩ්වර්ඩ්ස් ගේ පසුබිම සළකා බලන විට ඔහු මෙම කතාව ගොතන ලද්දක් බව පිළිගැනීමට අපහසුයි.

කෙසේ වෙතත් පසුකාලීනව පොලිස් වාර්තා වලට අනුව ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදු කර තිබෙන බව හෙලි උනා. මෙම වාර්තා අනුව ඔවුන් පවසා සිටියේ මෙහිදී ඉතා සාමාන්‍ය සංක්‍රමණ ක්‍රියාවක් සිදුව ඇති බවයි. නමුත් ගම් වැසියන් තව තවත් අධික ශීතල තුලට සංක්‍රමණය වෙද්දී ඔවුන් තම ආහාරපාන හා ආයුධ පවා හැරගියේ ඇයිද යන්නට හේතුවක් ඉදිරිපත් කිරීමට පොලීසියට නොහැකි උනා.


ලැබෙල් පවසා සිටියේ මෙය ටොංගාර්සුක් (ඉනියුට්වරුන්ගේ විශ්වාසයන්ට අනුව අහසට අධිපති දුෂ්ඨ දෙවි කෙනෙක්) නම් දෙවි කෙනෙකුගේ වැඩක් බවයි.

මෙහිදී පිටසක්වල ජීවින්ගේ මැදිහත්වීමක් සිදුව ඇති බව පිළිගන්නා බොහෝදෙනෙකු සිටිනවා. ඔවුන්ගේ මතවාදයට ප්‍රධාන හේතුව වන්නේ අහසේ පැතිර ගිය ආලෝක කදම්භයි.

කෙසේ වෙතත් මෙහිදී සිදුවූයේ කුමක්ද යන්න තීරණය කිරීම ඔබට භාරයි.



Read More

Tuesday, March 4, 2014

නයඟරා ඇල්ල සම්පූර්ණයෙන්ම සිඳී යයි!!!

නයඟරා ඇල්ල කියන්නේ කොයි කවුරුත් දන්නා පරිදි ලොව විශාලතම දිය ඇළි වලින් එකක්. ඒ වගේම මෙම දිය ඇල්ල සංචාරකයන්ගේ පාරාදීසයක්. අති විශාල නයඟරා ඇල්ල සම්පූර්ණයෙන්ම සිඳී ගිය අවස්ථාවක් ගැන අසා තිබේද? මේ කියන්නට යන්නේ එවන් අවස්ථාවක් ගැනයි. මේ සිද්ධිය සිදු උනේ මීට අවරුදු 45කට පෙරයි. හරියටම කියනවානම් 1969 ජූනි මාසයේදි. මේ සිද්ධිය උනේ ස්වාභාවිකව වර්ෂාව අඩුවී යාමෙන්  නම් නෙවෙයි. මේක ඇමෙරිකානුවන්ගේ වැඩක්.



නයඟරා ඇල්ලේ පිහිටීමත් සුවිශේෂී ආකාරයක් ගන්නවා. නයඟරා ඇල්ල ඇමෙරිකාවේ (නිව්යෝර්ක් ප්‍රාන්තය) සහ කැනඩාවේ (ඔන්ටාරියෝ පළාත) දේශ සීමාවේ පිහිටා තිබීම තමයි මෙම සුවිශේෂීභාවය. නයඟරා ඇල්ල යනුවෙන් හඳුන්වන්නේ දිය ඇලි තුනක එකතුවකටයි. හෝර්ස්ශූ ඇල්ල, ඇමෙරිකානු ඇල්ල සහ බ්‍රයිඩල් වේල් ඇල්ල එම දිය ඇලි තුනයි. මේ අතරින් ඇමෙරිකානු ඇල්ල සහ බ්‍රයිඩල් වේල් ඇල්ල ඇමෙරිකානු දේශ සීමාවට අයත් වන අතර හෝර්ස්ශූ ඇල්ල අයත් වන්නේ කැනඩාවටයි.

ඇමෙරිකානු දේශ සීමාවේ සිට නරඹන විට

කැනේඩියානු දේශ සීමාවේ සිට නරඹන විට



ඇමෙරිකානුවන් නයඟරා ගංඟාවේ ගමන් මාර්ගය හැරවීම හේතුවෙන් නයඟරා ඇල්ල වතුර බිංදුවක්වත් නැති ගානට හිඳිලා ගියා. කොහොම උනත් හිඳිලා ගියේ ඇමෙරිකානු දේශ සීමාවට අයත් දිය ඇලි දෙක විතරයි. ඇමෙරිකානුවන් කලේ නයඟරා ගංඟාවෙන් ඇමෙරිකානු ඇල්ලට ජලය ගලා එන මාර්ගය අවහිර වන පරිදි වේල්ලක් බැඳීමයි. මේ නිසා ගංඟාවේ සම්පූර්ණ ජල ප්‍රමාණයම ගලා හැලුනේ කැනේඩියානු දේශ සීමාවේ තියෙන හෝර්ස්ශූ ඇල්ලෙන්. මේ දේ පුරා මාස හයක පමණ කාලයක් පැවතුනා.



නයඟරා ඇල්ල මුදුනේ ජලය සිඳී ගොස් ඇති අයුරු

ඇමෙරිකානුවන්ගේ මේ කර්තව්‍යයේ අරමුණ උනේ ඇමෙරිකානු ඇල්ල පාමුල එකතු වී තිබෙන බුරුල් වී ඇද වැටුනු විශාල ගල් කැබලි ඉවත් කිරීමයි. ඒ මෙම ගල් ඉවත් නොකලහොත් ඇමෙරිකානු දිය ඇල්ල කඩාහැලීම නැවතී සාමාන්‍ය ආකාරයෙන් ජලය ගලා බසින ස්ථානයක් බවට පත් විය හැකි බවට 'නයඟරා ෆෝල්ස් ගැසට්' නම් පුවත්පතක් මගින් කල හෙළිදරව්ව නිසාවෙන්. 1931දී සහ 1954දී සිදුවූ නායයෑම් දෙකක් හේතුවෙනුයි විශාල ගල් ප්‍රමාණයක් දිය ඇල්ල පාමුල එකතු වී තිබෙන්නේ. කෙසේ නමුත් 1969 වසරේ නොවැම්බර් මාසයේදී මේ අදහස අත්හැර දැමුණා. ඒ මෙම කර්තව්‍යයට දැරීමට සිදුවූ වියදම අධික වීම හේතුවෙන්.

නයඟරා ගංඟාව හරස් කර බැඳුණු වේල්ල ඉදි වූයේ ටොන් 27,800ක් බර ගල් සහ පස් යොදාගනිමිනුයි. 1969 වර්ශයේ ජූනි මස 12 වනදා පුරා වසර 12,000ක් පුරාවට නොකඩවා ජලය ගලා හැලුනු ඇමෙරිකානු ඇල්ල සිඳී ගියා. ඉන්පසු මාස 6ක කාලයක් පුරාවට මෙම ඓතිහාසික සිදුවීම දැකබලා ගැනීමට අතිශය විශාල සංචාරකයන් පිරිසක් නයඟරා ඇල්ල වෙත පැමිණ තිබෙනවා.

නයඟරා ගංඟාව හරස් කර බැඳුණු වේල්ල ඡායාරූපයේ දකුණු පස ඉහළින් දැකගත හැකිය

ආරම්භක අරමුණ වූයේ සම්පූර්ණ ගල් ප්‍රමාණයම (දිය ඇල්ල පාමුල එකතු වී තිබූ) ඉවත් කිරීම වුවත් කලිනුත් සඳහන් කල අයුරෙන් වියදම අධික නිසාවෙන් අවශ්‍ය ප්‍රමාණයට ගල් ඉවත් කල බවට ඉන්ජිනේරුවන් විසින් පරීක්ෂා කර සෑහීමට පත්වීමෙන් අනතුරුව 1969 නොවැම්බර් මස 25 වනදා තාවකාලිකව ඉදිකරන ලද වේල්ල බිඳ දමනු ලැබුවේ 2,650ක නරඹන්නන් පිරිසක් ඇමෙරිකානු ඇල්ල යලි සජීවි වන අයුරු දැකබලා ගැනීමට පැමිණ සිටියදීයි.


























Read More

Sunday, March 2, 2014

පතුලක් නැති ආවාටය - බෙරියෙස්සා විල, කැලිෆෝනියාව

මිනිසා විසින් තැනූ නිර්මාණ අතරින් ඉතාම සිත් ඇදගන්නාසුලු ස්ථානයක් ගැන තමයි මේ විස්තරය. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නාපා ජනපදයේ ඇති බෙරියෙස්සා නම් විලෙහි තනා ඇති මොන්ටිචෙලෝ නම් අමුණෙහි අතිරික්ත ජලය බැස යාමට (අමුණ පිටාර ගැලීම වැළැක්වීමට ) තනා ඇති පිටාර සිදුර තමයි පතුළක් නැති ආවාටය ලෙස හැඳින්වෙන්නේ. මෙය ලොව විශාලතම පිටාර සිදුර ලෙස සැළකෙනවා. මෙහි විශාලතම විශ්කම්භය අඩි 72ක් වන අතර පහළට යනවිට ක්‍රමයෙන් කුඩා වෙමින් ගොස් අවසානයේදි අඩි 28ක් දක්වා කුඩා වෙනවා. ජලය උරාගන්නා ස්ථානයේ සිට ජලය පිට කරන ස්ථානය දක්වා ඇති දුර ප්‍රමාණය අඩි 700ක්.



මෙම පිටාර සිදුර නිතරම භාවිතා වන්නක් නොවේ. එයට හේතුව ජල මට්ටම පිටාර මට්ටමට එන්නේ කාලයෙන් කාලයට වීමයි. කෙසේ වෙතත් පිටාර සිදුර භාවිතා වන විට එය තුලට ඇදගන්නා ජල පරිමාව ජලය ඝන අඩි 48,400ක් පමණ වනවා.

පිටාර සිදුර තුලට ජලය ඇදගන්නා අයුරු


ජල මට්ටම අඩු කාලයේදී


මෙම පිටාර සිදුර බෙරියෙස්සා විලෙහි පිහිනන්නන්ට හා බෝට්ටු සවාරි යන්නන්ට අනතුරුදායක වනවා. එම නිසාවෙන් විලෙහි ආරක්ෂාකාරී දුර ප්‍රමාණ ලකුණු කර තිබෙන්නේ අනවශ්‍ය තරමට මෙම පිටාර සිදුරට ළඟා වී අනතුරෙහි වැටීම වැළැක්වීමටයි. 1997 වර්ශයේදී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උපාධීධාරියෙකු මෙම පිටාර සිදුර තුලට ඇදීගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව දක්ෂතම පිහිනුම් ශූරයෙකුටවත් මෙම පිටාර සිදුර මගින් ඇති කරනා ඇදගැනීමට එරෙහිව පිහිනිය නොහැකි බවයි සඳහන් වන්නේ. එම නිසා මෙම ව්ශ්වකර්ම නිර්මාණය දැකබලාගත යුත්තේ ආරක්ෂාකාරී දුර සීමාව තුල සිටයි.

මෙම පිටාර සිදුරේ නිර්මාණ කටයුතු ආරම්භ වන්නේ 1953 වර්ශයේදී. පුරා වසර 4ක් පුරාවට ඉදිකෙරෙන මෙම නිර්මාණය 1957 වසරේදි වැඩ අවසන් කෙරෙනවා. මොන්ටිචෙලෝ වේල්ල ඉදි කිරීම සිදු කර ඇත්තේ මොන්ටිචෙලෝ නම් නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවන ආකාරයෙනුයි. ජල මට්ටම අධික ලෙස පහත බසින කාලයේදී මෙම නගරයේ ගොඩනැගිලි වල නටඹුන් අදටත් දැකගත හැකියි.

පිටාර සිදුර ඉදිවන කාලයේදී

වේල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරන විට මොන්ටිචෙලෝ නගරයේ තිබූ සියලුම ගොඩනගිලි කඩාදැමීම සිදුකර නැහැ. පූටාහ් ක්‍රීක් පාලම ඇතුලු තවත් ගොඩනැගිලි කිහිපයක් කඩා බිඳ නොදමා ජලයෙන් යටවීමට ඉඩහැර තිබෙනවා. 1957 වසරේදී වේල්ලේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමෙන් පසුව තමයි බෙරියෙස්සා විලෙහි උපත සිදුවී තිබෙන්නේ.

මොන්ටිචෙලෝ වේල්ල ඉහළින් බැලූ විට දිස්වන අයුරු


Read More

Saturday, March 1, 2014

මිනීමස් විකුණන නයිජීරියානු අවන්හලක්!!!

මිනීමස් විකුණන නයිජීරියානු අවන්හලක් එරට පොලීසිය මගින් වටලා තිබෙනවා. මෙම වැටලීමේදී සෙලෝපේන් වලින් ඔතන ලද මිනී ඔළු දෙකක් හමුවී තිබෙන අතර එම සාක්ෂිය හේතුවෙන් අවන්හලේ කාර්ය මණ්ඩලය ඇතුලු 11 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් පෙබරවාරි මස 12 වනදා (2014.02.12) පොලීසියට ලැබුනු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකොට තිබෙන අතර සිද්ධියෙන් පසු අවන්හල වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වෙන්නේ නයිජීරියාවේ ඇනම්බ්‍රා නම් නගරයෙන්.

නයිජීරියාවේ ඇනම්බ්‍රා නගරය


මිනීමස් ඉහළ මිලකට අලෙවි කල මෙම අවන්හලේ මෙනු කාර්ඩ් පතෙහි "රෝස් කල මිනිස් හිස" යනුවෙන් ආහාර වර්ගයක් පවා ඇති බව බලධාරීන් සඳහන් කරනවා.

මෙම හෝටලයට ගොඩවැදී ඇති පාදිලිතුමෙක් මේ ගැන තම අදහස් ප්‍රකාශ කර තිබුනේ මෙම අයුරෙන්.

"මේ වසර මුලදී දිනයක මම මේ කියන අවන්හලෙන් ආහාර ගත්තා. ආහාර ගැනීමෙන් අනතුරුව බිල සඳහන් කරන විට ඔවුන් කියා සිටියේ මිනීමස් කැබැල්ලක මිල නයිරා 700ක් (ඩොලර් 4.19ක් පමණ ) පමණ වන බවයි. එවිටයි මම දැනගත්තේ මෙතරම් ඉහළ මිලකට මම ආහාරයට ගෙන ඇත්තේ මිනීමස් බව. මම මෙය අදහා ගැනීමටත් නොහැකි උනා. මේ රටට මේ සිදුවේගෙන එන්නේ කුමක්ද? මිනිසුන් මුදලට මිනීමස් අලෙවි කිරීම ගැන ඔබට සිතාගන්නවත් පුලුවන්ද? ලෝකයේ මෙම කොටසේ මිනිසුන් ගැන මට ඇතිවන්නේ ඉතා විශාල භයක්."

මෙම අවන්හල අසල වෙළඳාමේ යෙදෙන එළවළු වෙළෙන්දෙක්  සිද්ධියෙන් පසුව අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.

"මම මෙතන වෙළඳාම් කරද්දි දැකලා තියෙනවා ඔය අවන්හලට ආගිය මිනිසුන්ව. ඉතාමත් අපිරිසිදු වගේම අපිරිසිදු චරිතයනුත් ඇති මේ මිනිස්සු දැකලා තියෙන මට මේ සිදුවීම එතරම් පුදුමයට කරුණක් උනේ නෑ."

අවන්හලේ අයිතිකරුවා, ගැහැණු 6 දෙනෙක් සහ පිරිමි 4 දෙනෙක් පොලිස් අත් අඩංගුවට පත්වෙලා තිබෙනවා. සෙලෝපේන් වලින් ඔතා තිබූ මිනී හිස් දෙකට අමතරම ආයුධ කිහිපයක්ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. මෙම ආයුධ අතර AK47 වර්ගයේ ගිනි අවි දෙකක්ද වන බව සඳහන්.



The Independent හි පළවූ පුවතක් ඇසුරිනි.


Read More

සඳ ගමන ප්‍රෝඩාවක්ද????

1969 ජූලි මස 20 වන දින ඇමෙරිකානු ගගනගාමීන් දෙදෙනෙකු වන නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින් ඇපොලෝ 11 යානයෙන් සඳ මතට ගොඩ බැස්සේ මුලු මහත් මිනිස් ඉතිහාසයේම යෝධ ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්. මෙම ඓතිහාසික අවස්ථාව එදා මුලු ලෝකය පුරාම සජීවීව රූපවාහිනියෙන් විකාශය කෙරුනා. මිනිසා මුලින්ම සඳ මත පා තැබූ ඒ ඓතිහාසික මොහොත නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් එදා විස්තර කරන ලද්දේ මෙලෙසින්.
"මෙය මා තබන එක් කුඩා පියවරක් පමණක් වුවත් මෙය මුලු මහත් මිනිස් සංහතියම පනිනා යෝධ ඉදිරි පිම්මකි."

නමුත් ඔහු සැබැවින්ම සඳ මතට ගොඩ බැස්සාද?
එසේත් නැතිනම් රුසියාව සමග පැවති සීතල යුද්ධය ජය ගැනීමට මෙය ඇමෙරිකාව විසින් හොඳින් සැළසුම් කර වේදිකා ගතකල රඟදැක්වීමක් පමණක්ද?
හැත්තෑව දශකයේ සඳ මත පා තැබූ ඇමෙරිකානුවන්ට මේවන තෙක් නැවත වතාවක් එය ඉටු කරගැනීමට නොහැකි වූයේ ඇයි?

සඳ ගමන ප්‍රෝඩාවක් බව විශ්වාස කරන මිනිසුන් ප්‍රමාණය කාලයත් සමග වැඩි වී තිබෙනවා. නවතම වාර්තා වලට අනුව ඇමෙරිකානු ජනගහණයෙන් 20%ක් පමණ පිරිස විශ්වාස කරන්නේ ඇමෙරිකානුවන් කිසිදිනක සඳ මත පා නොතැබූ බවයි.

ඇමෙරිකානුවන් සඳ මත පා නොතැබූ බවට මත ප්‍රකාශ වන්නේ නිකම්ම නිකම් නොවෙයි. මෙම තර්කය ගොඩනැගී ඇත්තේ විවිධ කරුණු සාධක පදනම්වයි.

කෙසේ වෙතත් මෙම තර්ක වලට නාසා ආයතනය පිළිතුරු සපයා තිබෙනවා. සඳ ගමන ප්‍රෝඩාවක් බවට ඇති සාක්ෂි සහ ඒවාට පිළිතුරු ලෙස නාසා ආයතනය ලබාදුන් ප්‍රකාශ පහතින් දැක්වෙනවා.


1.) සුළඟේ ලෙළදෙන ඇමෙරිකානු කොඩිය

සඳ මතදී ඇමෙරිකානු කොඩිය ලෙළදෙන අයුරු


ඇමෙරිකානුවන් සඳ මත ගොඩබාන අවස්ථාව රූපවාහිනියෙන් විකාශය කරන විට සඳ මත ගැසූ ඇමෙරිකානු කොඩිය සුළඟේ ලෙළදී තිබෙනවා. ඒ වගේම ඡායාරූප වලත් මේ බව දැකගැනීමට පුලුවන්. නමුත් ප්‍රශ්නය වන්නේ සඳ මත වායුගෝලයක් නොමැති වීමයි. එම නිසා සඳ මත සුළඟක් ඇතිවීමේ හැකියාවක් නොමැත. එසේනම් සඳ මත ගැසූ ඇමෙරිකානු කොඩිය ලෙළදුන්නේ කෙසේද?

නාසා ආයතනයේ පැහැදිලි කිරීම

කොඩිය රැගෙන ගොස් ඇත්තේ කුඩා නළයක් තුළයි. එම නළයෙන් කොඩිය ඉවතට ගැනීමේදී ඇති වූ රැළි නිසා කොඩිය ලෙළදෙන ආකාරයෙන් දිස්වේ. කොඩිය ගසා තිබෙන රිට ගගනගාමින් ඇල්ලූ විට ඇති වූ කම්පනය හේතුවෙන් කොඩියේ රැළි ඇතිවූ බව තවත් එක පැහැදිලි කිරීමක්.



2.) චන්ද්‍ර යානය ගොඩබෑමේදී සඳේ පෘෂ්ඨය මත ඇතිවූ සළකුණු දක්නට නොලැබීම

රතු කවය තුළ ඝට්ඨන සළකුණු දක්නට නැත

ඇත්ත වශයෙන්ම යානයක් සඳ මත ගොඩබෑවා නම් සඳේ පෘෂ්ඨය මත ඝට්ඨන සළකුණු ඇතිවිය යුතුය. යානය ගොඩබෑමේදී ඇතිවන කම්පනය හේතුවෙන් මේවා තරමක් විශාල ඒවා විය යුතුය. නමුත් කිසිම ඡායාරූපයක හෝ වීඩියෝවක මේ ආකාරයේ සළකුණු දක්නට නොමැත. චන්ද්‍ර යානය නිකම්ම පෘෂ්ඨය මත තැබුවාක් මෙනි. අඩුම තරමින් සඳේ පෘෂ්ඨය මත තැන්පත් වී ඇති දූවිලි තට්ටුව පවා කැළඹී ගිය අයුරක් දක්නට නොලැබේ.

නාසා ආයතනයේ පැහැදිලි කිරීම

සඳ මතුපිට ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය මතුපිටදීට වඩා සැළකිය යුතු මට්ටමකින් අඩුය. එම නිසා යානය ගොඩබැස්සවීමේදී ඇතිවන තෙරපුම සඳ මතදී සැළකිය යුතු මට්ටමකින් අඩුය. යානය ගොඩබැස්සවීමේදී සඳේ පෘෂ්ඨය මත සළකුණු ඇති නොවීමට හේතුව මෙයයි. එමෙන්ම සඳේ මතුපිට ඉතා තද ඝණකමකින් යුක්තය. බහුලවම ඇත්තේ තද පාෂාණය. එම නිසා තෙරපුම මීට වඩා වැඩි වුවත් සළකුණු ඇතිවීමේ හැකියාවක් නොමැත.



3.) ආලෝක ප්‍රභව කිහිපයක් තිබීම

පැති දෙකකට සෙවණැලි වැටී ඇති අයුරු

සඳ මතට ආලෝකය ලැබිය හැක්කේ එකම ප්‍රභවයකින් පමණි. ඒ ප්‍රභවය නම් සූර්යයායි. නමුත් ඡායාරූප හා වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී විවිධ වස්තු වල සෙවණැළි විවිධ දිශා වලට වැටී ඇති අයුරු දැකගත හැකිය. සඳ ගමන ප්‍රෝඩාවක් යයි පවසන්නන්ගේ අදහස වී ඇත්තේ මේ ආලෝක ප්‍රභව වලට හේතුව මෙම ඡායාරූප චිත්‍රපට කලාගාරයක් තුලදී ලබාගෙන තිබීම බවයි.

නාසා ආයතනයේ පැහැදිලි කිරීම

සඳ මතුපිට ඇති විවිධ කඳු පල්ලම් ආදිය නිසා ආලෝකයේ දිශාව තරමක් වර්තනය වී ඇත.

නමුත් මෙම පැහැදිලි කිරීම මීට එරෙහි වන්නන් විසින් එක හෙලා ඉවතලනු ලබයි. මෙම ආකාරයේ සිදුවීමකින් මෙතරම් විශාල වශයෙන් ආලෝකය වර්තනය විය නොහැකි බව ඔවුන්ගේ අදහසයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන අන්දමට ආලෝකය අංශක 45කින් පමණ ආනත වී ඇත.


4.) වැන් ඇලන් විකිරණ තීරය



පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය නිසාවෙන් රැඳී පවතින සදාකාලිකවම එම ස්ථානවලම පවතින අධික විකිරණශීලීතාවයෙන් යුක්ත තීරයක් අභ්‍යවකාශයේ තිබේ. මෙම තීරය හඳුන්වන්නේ වැන් ඇලන් විකිරණ තීරය යනුවෙනි. චන්ද්‍ර යානය සඳ මතට ළඟා වීමට නම් අනිවාර්යයෙන්ම මෙම කලාපය පසුකර යා යුතුය. චන්ද්‍ර යානය තුළ හා පිටත කොතරම ඝනකම් ඇලුමිනියම් ආවරණ තිබුනත් මෙම ප්‍රදේශයේ ඇති අධික විකිරණශීලීතාවය ගගනගාමීන්ව නිසැකවම පුළුස්සා දැමිය යුතුය.

නාසා ආයතනයේ පැහැදිලි කිරීම

මෙම විකිරණ තීරය පසුකර යාමට චන්ද්‍ර යානයට ගතවූයේ ඉතා සුළු කාලයකි. එම නිසා ඔවුන්ට විකිරණ ප්‍රහාර එල්ල වූයේ ඉතා අඩු ප්‍රමාණයකිනි. එම නිසා ගගනගාමීන් පිළිස්සී ගියේ නැත.



5.) අද්භූත වස්තුව



සඳ ගමනේ ඡායාරූප නිකුත් වූ පසුව එක් ඡායාරූපයක තිබූ විශේෂ වස්තුවක් පිළිබඳව කාගේත් අවධානය යොමු විය. ගගනගාමියෙකුගේ හෙල්මටයේ වීදුරුවෙන් පෙනෙන මෙම අද්භූත වස්තුව ලණුවකින් එහෙමත් නැත්නම් වයර් එකකින් එල්ලෙන ස්වාභාවයක් දක්නට ලැබේ. මෙම ස්ථානයට කිසිසේත්ම අදාළ නොවන මෙම වස්තුව චිත්‍රාගාර වල තිබෙන "ස්පොට් ලයිට්" එකක්ද?

නාසා ආයතනයේ පැහැදිලි කිරීම

මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුවී නොමැත. කෙසේ වෙතත් ඡායාරූප වල මෙම වස්තුව ඉතා අපැහැදිලි අතර හරියාකාරව හඳුනා ගැනීමට දුෂ්කරය.
කෙසේ වෙතත් ඡායාරූපවල තිබෙන යානයේ පිටතට විහිදී තිබෙන කිසිම කොටසක් මෙය බවට සැක කළ නොහැක.



6.) තරු දක්නට නොලැබීම

එකදු තරුවක්වත් අහසේ නොමැති අයුරු

සඳ මත වායුගෝලයක් නොමැත. එම නිසා සඳ මත සිට අහස දෙස බැලූ කල පෘථිවියේදී පෙනෙනවාට වඩා හොඳින් සඳ මතදී තරු දිස්විය යුතුය. නමුත් එකම ඡායාරූපයකවත් වීඩීයෝවකවත් එකම තරුවක්වත් දැකගත නොහැක. මෙයට හේතුව කුමක්ද? තරුවල පිහිටීම අනුව නිවැරදිව සැළසුම් කර නිවැරදි ලෙස තරු පිහිටන ස්ථාන ලකුණු කර පෙන්වීම අතිශය අපහසු බැවින් සිතාමතාම මෙම ව්‍යාජ ඡායාරූපවලට තරු ඇතුලත් නොකර සිටියාද?

නාසා ආයතනයේ පැහැදිලි කිරීම

ඡායාරූපවල ගුණාත්මක අගය එතරම් ඉහළ නොවන බැවින් ඡායාරූපවල තරු සටහන්ව නොමැත.


මෙය ඉතාමත් බලවත් සාධකයකි. ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ඡායාරූප වලද තරු දක්නට නොලැබේ. එමෙන්ම පෘථිවියේ සිට ගන්නා එතරම්ම ගුණාත්මක භාවයකින් යුක්ත නොවන ඡායාරූපවල පවා තරු සටහන් වේ. එම නිසා වායුගෝලයක් පවා නොමැති තැනක සිට ලබාගත් ඡායාරූපවල තරු සටහන් නොවූ බව පිළිගැනීමට අපහසුය.



7.) "C" අකුර සහිත පාෂාණ කැබැල්ල

"C" අකුර පැහැදිලිව සටහන්ව ඇති අයුරු
මෙය ඉතා ප්‍රසිද්ධ ඡායාරූපයකි. මෙහි ඉතා පැහැදිලිවම "C" අකුර දක්නට ලැබේ. මෙම "C" අකුර ඉතාමත්ම සමමිතික වේ. එනම් මෙය ස්වාභාවිකව ඇතිවූ පැල්ලමක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි. මෙය චිත්‍රාගාරයේදී පාෂාණ කැබැලි වෙන්කර හඳුනා ගැනීමට යොදන ලද අකුරක් බවටද කණ්ඩායමේ නොසැළකිලිමත් භාවය නිසාවෙන් මෙම අකුර වැරදි පැත්තට සිටින සේ තබා ඡායාරූපය ගෙන තිබෙන බවත් සඳ ගමන සත්‍යයක් බව පිළිනොගන්නා අයගේ මතයයි.

නාසා ආයතනයේ පැහැදිලි කිරීම

මෙයට ලැබී තිබෙන පැහැදිලි කිරීම් දෙක එකිනෙකට වෙනස් ප්‍රතිවිරුද්ධ දෙකකි. එකක්නම් ඡායාරූප සකසන්නා විසින් සිතාමතාම විහිලුවට කල දෙයක් බවයි!!!
අනෙක නම් ඡායාරූපය සකසන (Develop) අවස්ථාවේදී එය මතට වැටුනු කෙස් ගසකින් මෙම අකුරේ සළකුණ ඇතිවී ඇති බවයි.



8.) ඡායාරූපවල ඇති කතිර සළකුණු

කතිර සළකුණට ඉදිරියෙන් වස්තුවක් ඇති බව පෙනෙන අයුරු

ගගනගාමීන් විසින් සඳ මතදී ඡායාරූප ගැනීමට භාවිතා කල කැමරාවල ඡායාරූප නාභිගත කිරීම සඳහා කතිර සළකුණු භාවිතා විය. මෙම කැමරාවලින් ඡායාරූප ගැනීමේදී මෙම කතිර සළකුණුද ඡායාරූපයේ සටහන් වේ. මෙම කතිර සළකුණු කැමරාව මගින් ඇතිවන්නක් නිසා සියලුම කතිර සළකුණු ඡායාරූපයේ ඇති වස්තූන් සියල්ලටම ඉදිරියෙන් එනම් එම වස්තූන් මත පිහිටන සේ සටහන් විය යුතුය. නමුත් ඇමෙරිකානුවන් නිකුත් කල ඡායාරූප කිහිපයකම වස්තූන් කිහිපයකට පිටුපසින් කතිර සළකුණු පිහිටා ඇති බව නිරීක්ෂණය කල හැකිය. ඉහත ඡායාරූපයේ කහ පැහැති කවය තුළද මේ බව දැකගත හැකිය. මින් ඇඟවෙන්නේ ඡායාරූප ලබාගත් පසුව ඒවා සංස්කරණය කල බවයි.

මෙම කාරණාවට නාසා ආයතනයෙන් පැහැදිලි කිරීමක් ලැබී නැතත් ඔවුන් ව්‍යාජ ඡායාරූප නිර්මාණය කලා නම් කතිර සළකුණු සිටින ආකාරයේ කැමරා ඒ සඳහා භාවිතා කලේ ඇයිද යන්න සලකාබැලිය යුතු කරුණකි. මෙම සළකුණු ඇති නොවන ආකාරයේ කැමරා පැහැදිලිවම ඔවුන්ට භාවිතා කලහැකිව තිබිණි.



9.) ස්ථාන දෙකකදී ලබාගත් ඡායාරූපවල එකම පසුතලයක් දක්නට ලැබීම.


එකම පසුබිම ඡායාරූප දෙකේම දක්නට ලැබෙන අයුරු

ඉහත ඡායාරූපයේ දැක්වෙන ඡායාරූප දෙකකදීම එකම පසුබිමක් දක්නට ලැබෙන අයුරු පැහැදිලිව පෙන්වා දී ඇත. මෙහි ඇති ප්‍රශ්නය වන්නේ එම ඡායාරූප දෙක ස්ථාන දෙකකදී ලබාගත් ඡායාරූප ලෙස නාසා ආයතනය විසින් සඳහන් කොට තිබීමයි. එසේනම් ඡායාරූප දෙකේදීම එකම පසුබිමක් දක්නට ලැබෙන්නේ ඔවුන් එකම පසුතලයක් භාවිතා කරමින් මෙම (ව්‍යාජ) ඡායාරූප ලබාගත් නිසාද?
තවද එක් ඡායාරූපයක ලූනර් මොඩියුලද පෙන්වයි. ලූනර් මොඩියුලය ගොඩබෑ පසු සියලුම ඡායාරූප ලබාගත් බැවින් මෙම ස්ථානය එකම ස්ථානයක් ලෙස සඳහන් කරන්නෙකුට විරුද්ධව තවත් ප්‍රශ්නයක් මතුවේ. එක් ඡායාරූපයක ලූනර් මොඩියුලය තිබීමටත් අනෙකේ ලූනර් මොඩියුලය නොතිබීමටත් හේතුව කුමක්ද?


නාසා ආයතනයේ පැහැදිලි කිරීම

සඳ පෘථිවියට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් කුඩා බැවින් සඳේ ඇති වස්තූන් පියවි ඇසට දිස්වන්නේ සත්‍ය වශයෙන්ම වස්තුවට ඇති දුරට වඩා ඉතා ආසන්න ස්ථානයක ඇති අයුරකිනි. එම නිසා මෙම ඡායාරූප ස්ථාන දෙකකදී ගත් ඒවා බවට කර ඇති ප්‍රකාශය නිවැරදි වේ. මෙම ස්ථාන දෙක අතර දුර ප්‍රමාණය සැතපුම් ගණනාවක් වුවත් ඈතින් පෙනෙන කඳු පංති ආසන්නව දිස්වන්නේ ස්ථාන දෙකම එකම ස්ථානයක් බවට අදහසක් ඇතිවිය හැකි අයුරෙනි.




සඳ ගමන ප්‍රෝඩවක් බවට ඔප්පු කිරීමට උත්සාහ දරන්නන් ඒ බවට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු මේවා වේ. මෙම කරුණු වලට විරුද්ධව නාසා ආයතනයද ඉදිරිපත් කර ඇති කරුණුද සළකා බැලීමෙන් අනතුරුව සඳ ගමන ප්‍රෝඩාවක්ද නැද්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාරයි!!!!


www.listverse.com හි පළවූ ලිපියක් ඇසුරිනි.


Read More
Related Posts with Thumbnails