Pages

Wednesday, March 12, 2014

Widgets

ඉන්කා මමියක මරණයේ තතු හෙලිවේ



මෙම මමියේ අතීතය පිළිබඳ හරිහැටි විස්තරයක් සඳහන් නොවෙතත් 1890දී බැවේරියානු කුමාරිකාවක වන තෙරේසා කුමරිය විසින් මමිය අත්පත් කරගත් බව සඳහන් වෙනවා. ඉන්පසුව වසර 100කට අධික කාලයක් මෙම මමිය තිබී ඇත්තේ ජර්මනියේ බැවේරියානු ප්‍රාන්ත පුරාවිද්‍යා භාණ්ඩ එකතුවේයි.

වසර 1600ක් පමණ පැරණි ලෙසට සැළකෙන මෙම මමිය සොයාගෙන තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරයෙන්. මෙය වයස විසි ගණනක් වූ ඉන්කා කාන්තාවකගේ මමියක් ලෙසට සැළකෙනවා.





ඇයගේ හිසකේ බැඳි පටි නිපදවා ඇත්තේ බැටළු හෝ ලාමා සත්වයෙකුගේ සම් වලින් බව සොයාගෙන තිබෙනවා. මෙම කරුණත් ඇයගේ හිසේ හැඩයත් පදනම් කරගෙනයි විද්‍යාඥයන් ඇය දකුණු ඇමෙරිකානු සම්භවයක් ඇත්තියක බව නිගමනය කර තිබෙන්නේ.




ඇය චාගාස් ආසාදනය නම් ආසාදනයකින් පෙලුනු බවටත් හඳුනාගෙන තිබෙනවා. නමුත් ඇයගේ මරණය සිදුවී ඇත්තේ මෙම ආසාදනය නිසා නම් නොවෙයි. මෙම ආසාදන තත්වය ඇයව මරණය අභියසටම ගෙනැවිත් තිබුනත් ඇය මියගොස් ඇත්තේ බිලිපූජාවකදී බිල්ලට දීමෙන් බව නවතම වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

ඇයගේ සම්භවය හා මරණය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මියුනිච් විශ්වවිද්‍යාලයේ පුරාණව්‍යාධිවේදියෙකු වන ඇන්ඩ්‍රියාස් නර්ලිච් ඇටසැකිල්ල, ශරීර අවයව සහ පුරාණ DNA පරීක්ෂාවට ලක්කොට තිබෙනවා.

මමියේ බාහිර පෙනුමෙන් ඇය අවසන් මොහොතේදී අධික කම්පනයකට ලක්වූ බවට සාක්ෂි දක්නට නැතත් හිස්කබලේ නළල් ප්‍රදේශය බිඳී ගොස් ඇති බවට CT ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයාගෙන තිබෙනවා.

පරීක්ෂණ කටයුතු පිළිබඳව "Plos One" නම් සඟරාවට ලිපියක් ලියමින් අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම පවසා සිටින්නේ ඇයගේ හිසට තියුණු ආයුධයකින් එල්ල වූ පහරවල් කිහිපයක් නිසාවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි. ඇය මරා දැමීමෙන් අනතුරුව ඇයව ඇටකාමා කාන්තාරයේ වළදමා ඇති අතර කාන්තාරයේ වැලි සහ සුළඟ හේතුකොටගෙන ඇය ස්වාභාවිකව මමිකරණය වී ඇත. මමියේ හිසකෙස් වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව මියයන විට ඇයගේ වයස නිර්ණය කර ඇති අතර ඇය ජීවත් වූ කාලයේදී මුහුදු ආහාර සහ ඉරිඟු වැඩි වශයෙන් ආහාරයට ගන්නට ඇති බවටත් නිගමණය කර තිබෙනවා.



2 comments:

Related Posts with Thumbnails